Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Thursday, May 18, 2017

දේශයේ මුර දේවතාවො














හිතට හයියක් රැගෙන එදවස
හිසට බර වැඩි කරන් එදවස
ගතට හරි වෙහෙසක්ද එදවස
නුඹ රැක්කෙ ලක් මෑණි එදවස

දෙමාපිය සිය සොයුරු නෑ සැම
සිය බිරිද දරු පැටව් ටික සැම
පෙම්වතිය යහළුවන් නැති කොට
හිතට තනියක් දැනුනෙ සැම විට


රැක්ක කොට නුඹ දුරක සිට අප
ලෙන්ගතුයි සිත සොයුරු නුඹ හට
තුණුරුවන්ගේ පිහිට හැම හට
පතන්නේ හද බැති සිතින් අප හැම

තිස් වසක් ගත වුනා යුද්ධය
නුඹ දිරිය ගෙන රැක්ක මවු බිම
සැමට සාමය අරන් දුන ඔබ
විරුවො වේවා සදා සමරණ


Wednesday, May 10, 2017

ලොව උතුම්ම වෙසක් දිනය














සල් උයනෙහි ලුම්බිණී
සිදුහත් පුතු ඉපදුනී
ලොව සනසන වෙසක් මගුල
ඒ අසිරිය වෙනුවෙනී

හිමි සිරි පද පුඅදනට
මල් පිබිදෙයි තරගෙට
බිගු තුරුගොස පැතිරී යයි
වෙසගෙහි මහ මගුලට

බිම්බා සහ රහල් පුතා
අටහහැරි මොක් සුවය පතා
සක්විය සැප පිළිකෙම් කල
අපේ සිදුහත් බෝදි සතා

හිමිගේ මහ ගුණ හමුවේ
වසවත් පැරදී දිව්වේ
ඒ බව කියමින් තවමත්
සිරිමහ බෝපත් සෙලවේ

ගසක් යටම ඉපදුනී
ගසක් යටම බුදු වුනී
පිරිනිවුවදබුදු සමිදානෝ
ගසක් යටම සිදු වුනී

මලපුතු කරපින්නාගෙන
බෙහෙතක් සෙව් පනගන්නා
සෑසී පිලිසරන ලබා
කිසා නිවන් මග උන්නා

සුනීත සෝපාක වැනී
අම්බපාලි කතුන් වැනී
අසරණ අය සුවපත් කර
අපෙ බුදු ජීවකයානෙනි

බුදු ගුණ නව අරහාදී 
සීපත් කොට සිත පැදී
සම්බුදු සරනින් සැමහට
වේවා සුබ සෙත සැදී




Thursday, April 13, 2017

අවුරුදු ආවා









කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැගුම් දෝර ගලන
අවුරුදු ආවා

සියොතුන් රස ගීත ගයන 
ගේ දොර හැම කල එලිවෙන
නැවුම් හැගුම් දෝර ගලන 
අවුරුදුආවා

ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා

අලුත් වළ0 ගෙට ගෙන්නෙන්න
අලුත් ඇදුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා

රබන් සුරල් හඩ අහන්න
හෙළ කෙලි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා





Tuesday, April 4, 2017

අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ










තලන්න ඇහැකිනම් කෙනෙක් තලන්න මයි බලා ඉන්නෙ
පැටව් ටිකට බණ කියනා කකුළු මවක් වගේ යන්නෙ
තමන් හරිය කියා මිසක් අන් මතයක් නෑනේ ගන්නෙ
ළිඳේ ඉන්න ගෙම්බන් නැත ලෝකය ගැන කිසිත් දන්නෙ

කසාය බිව් ගොළුවන් මෙනි හොඳ වැඩකදි නැතිය කතා
වැරැද්දකදි උඩ පැන පැන නැති වැරදිත් කියති ගොතා
ඇතිදා ඇති - නැතිදා නැති - නැදෑයින් හැමට ඇතා
කට තද කර කන දිග හැර ජීවත් විය යුතුය හිතා

හිතේ නැතත් කම්මැළිකම ගෙයකට අපලයි වේයෝ
පොතේ පතේ අගේ නොදැන විනය කටින්නේ මීයෝ
ගතේ සවිය බල ඇති නම් ළඟම රැඳේ යයි කියෝ
අතේ දුරින් හිටි තරමට ඇඟට සනීපයි නෑයෝ


Thursday, February 2, 2017

වසන්තය එන තුරා








වසත් කල මල් කැකුළු
පුබුදිනා බව කියති
තුරු වදුලු මල් උයන්
හිනැහෙනා බව කියති

විහග කැළ පෙම් ගීත
මුමුණනා බව කියති
කදුළු වියැකිලා ගොස්
සතුට එන බව කියති

හිරු සදුද තාරකා
හිනැහෙනා බව කියති
මිනිස් සිත මනු දමින්
පිරෙන කාලය කියති

සදා කල් මග බලන්නැයි
මගේ සිත කියති
සොදුරු වූ වසත් කල
එනතුරා මග බලමි



Monday, January 30, 2017

තනිකඩයාගේ කවිය




කුල මල මිළ මුදල් දේපල  ජාති බේද අතරේ තනිවන යව්වනය




නොනිදි රැය දිගු වුවත් 
සඳ එළිය හරි කළුවරයි
අමාවක අත වනයි 

පෝය නික්මෙන හැඩයි

 දුරුත්තේමල් සුවඳ

 මගෙ පැලට අකැපමයි
ප්‍රේමයේ හව්හරණ 
කාසි ළඟ රැකවලයි

කල්පයක් වූ හීන 
හීනයට ඉඟිමරයි
නියංසායට දැවුණු 

ඉපල් මදහස පුරයි

එකම පරපුරක උරුම 

මේ කඳුළු උණුහුමයි
දුරුතු මහ හීතලයි 

තනිකමට සරදමයි

තරු එළිය මඟ නොකී 
යෞවනය තනිකඩයි
ගුරුපාට අතීතය 

මදහසට විරසකයි

පුර හඳට පෙම් පිරුව 

හදවතට දුක බරයි
කවි හිතම ගැබ්බරයි 

පත් ඉරුව තනිකඩයි




















Tuesday, January 17, 2017

වියපත් සිතුවිලි වියපත් බිරියකගෙන්












අපට වැඩියෙන් සීරුවට ගොම්මනේ අඳුර
වෙළාගෙන අප දෑත නිසොල්මන් අවරට ම
සනහමින් සියොළඟම පුරුදු පිල්කඩ හිඳින
හැරමිටිය දන්නවයැ අප දුටුව පෙම් හීන

ඉරිතැලුණු දිවි ගඟේ පතුල හොරැහින් බලා
නොදරු දරු අප තුරුණු වෙස් රැගෙන ඉගිලුණා
මඳින් මඳ නිවෙන තරු අඩ එළිය ඇතිරෙනා
ගිලී ගිය ඇස්වලින් පෙනේ ඉස්සර දසුන්

තුඩලමින් පෙම් අමා පැන් පොදක් මඳහසින
අදර වියමන් බඳින විහඟ නෙත් නිදිබරය
මස් වැදලි එකිනෙකට ඇලුණු නුඹෙ පුළුලුරේ
තබන්නද හිමි සඳුනි, ම හිස සෙනෙහෙන් බරවු



Wednesday, January 11, 2017

නෙතු කදුළැලි නුඹට කී කවි





සිරි සිරි නදින් සීතල පිනි වැගිරෙනවා
මල් මී පිරීලා බමරුන් කැඳවනවා
මුදු මඳ පවන් වැද හිරිගඩු නැංවෙනවා
“නුඹ නැති දුකට නෙත කඳුලැලි වැගිරෙනවා”


මීමැසි රංචු ඇයි මල් වෙත ඉගිලෙන්නේ
ගංගා ගලා කිම සමුදුරටම යන්නේ
විහඟුන් මොට ද? රස ගීවැල් මුමුනන්නේ
“මගෙ සිත කුමට නුඹ සොයමින් ළතවන්නේ”


හතිලන සිතට ඉකිලන සුසුමක් ඇතිව
දසඅත ඉගිල්ලෙන සිතුවිල්ලට නතුව
“කොඳුරන අතීතය සිහිකර රස මුසුව
වැලපෙමි කඳුළු නොහෙලා මා අන් සතුව





Sunday, December 25, 2016

ප්‍රථම ප්‍රේමය













හිරු නැඟුණු දහවලක
පැතුම් විකසිත කරන්
ඔබේ ආයාචනයකින්
ම සිත ඔබට පෙම් කළා

දවස් හෝරා ගත වුණා
ප්‍රථම පෙම විසිරුණා
දඩබ්බර වූ ඔබේ සිත
වෙන අතක පාවුණා

සඳ නැඟුණු මැදියමක
ඔබේ පෙම සිහිවුණා
අසරණ ව ම දෙස බැලූ
සඳ, තරුත් මා සමඟ වැලැපුණා...







Tuesday, November 8, 2016

සුන්දර රෑ







බැස ගිය සදම යළි හවසට පායාවී
නිසසල සස හදවත් ලග නවතීවී
ගහ කොල ගලන සද වතුරින් නාවාවී
හිතුන වලා යට මොහොතක් සැගවේවී

මා වවුලකුට ම0 සලකුණු තියාගෙන
කළුවර එබෙයි සද දිනිතිය සොයාගෙන
දහවල දැවුනු තැන් සිහිලෙන් තෙමාගෙන
සද මත හිනා වෙයි ඒ මුව පුරෝගෙන

පිරිමැද මිහිරි සිතිවිලි සද පතිත රැයේ
ඉගිලෙන පැතුම් කුමකට හිර කරමි ලයේ
පිපි කළුවරට තරු එළියක් එළිය තියේ
ලස්සන කවක් සගවමි සද ගිලුනු දියේ



Sunday, October 16, 2016

සමුගතිමි








ගිලිහි අතින් තවකෙකුගේ සුරත ගැටී
යා යුතු නොවේ වරදක සිත බැදෙන හැටී
මතකය රිදුම් දෙන මැසිවිලි දෙතොල දිටී
අරලිය මලක් මියැදුනි ගස මුලම වැටී

බිඳුවක් පමණ සෙනෙහස හද තුළ නොවිනි
අරුතක් නොමැති කවියක් දෝ සැක සිතුණි
පමණ ද ඉක්මවා ආදරයක බැඳුණි
මතකයෙ රැඳෙන්නට ළෙන්ගතු කම නොදුනි

යන එන මග නොමඟ රැදිලා සිනාවෙන්
රවටනු එපා හදවත මා මුළාවෙන්
වෙහෙසත් දුකත් කවියක මුවාවෙන්
මම සමුගතිමි නුඹගෙන් ලද පමාවෙන්




Tuesday, October 4, 2016

මල් විකුණන යුවතියගෙන්







පුදන්නට තරම් ඉඩක් නෑ
මලක් ම සමිඳුට
මිලක් ගෙන කෙනකුට
මලක් විකුණන තරමට

පැලක් වුව නිවහන
සත් දෙනකුගේ සෙවණට
බතක් ඉදෙන්නේ හැම දින
මගේ මල් විකිණෙන තරමට

නොආවත් සමිඳුනි
ම ඔබ අබියසට
වරක් නොව දහස් වර
පුදමි හද මලින් බැතියන



Sunday, July 17, 2016

එක පන්ති­යද?






බංඩාරෙ මත­කයි ද ඉස්කෝලෙ අපි දෙන්නා
මම ඉදිරි පේළියේ උඹ හිටියෙ පිටි­පස්සෙ
ඇඟිලි නිය­පොතු කොණ්ඩෙ සීරු­වට පිළි­වෙ­ළට
හැම­දාම මට තරුව ‍උඹට තඩි බින්දු­වකි

ෆිෂ් රෝල්, එග් බනිස් මගෙ කෑම පෙට්ටියේ
මොකුත් නෑ ඉඳ හිටක ගෙනාවේ උඹ බතල
හරි මිසක් වැරැදි නැති එකම තනි­රූල් පොත
කිලුටු මුත් තිබුණෙ තරු බින්දු ආවේ මෙමට

අදත් මම ඇවි­දිල්ල චැනල් පෝලිමේ මුල
ඉන්න­කොට උඹ ඇවිත් පිරුණු දිස්නය අරන්
උගුර, කන, නාසය විශේ­ෂඥ උඹද
කියා­පන් බංඩාරෙ ඇත්ත­ටම මේ උඹද?

පිටත දිස්නය සොයා එකතු කළ වැඩි ලකුණු
උඹ කිලුටු ළඟ ලැබුණෙ අදත් මට බින්දු­වකි
උගුර, කන, නාසය මගෙ වැසුණු ඇස්වල දෝසේ
බලා­පන් හොයා­ගන හද­න්නට දැන්වත්...




ශ්‍යාමලී වසන්තා සුබ­සිංහ

Tuesday, June 21, 2016

කාළයේ අවකාශය





තුන් යම ගතවූ ජීවිතයේ
අරුනළු නැගේනා අභාතයේ
අහස ඉසවුවේ ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ

දැස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිර්‍රී නිදන වෙලේ
කවියක් සේ ඔබ හද තුල ගුලි වී
මා  හද  පිරි මැද පිරි මැද අවදි කලා

මැදියම අවදිව හැබහින් දුටු වෙමි
පෙරයම නින්දේ දුටු සිහිනේ
එහෙත් සිහිනයක් වේදෝ යලි ඒ
ජීවිතයේ අන්තිම යාමේ






Monday, April 11, 2016

අවුරුදු ආවා...





කොහෝ තුටින් ගීත ගයන
තුරුලිය මල් වලින් පිරෙන
නැවුම් හැඟුම් දෝරෙ ගලන
අවුරුදු ආවා...
සියොතුන් රස ගීත ගයන
ගේ දොර හැම කල එළිවන
නැවුම් හැඟුම් දෝරෙ ගලන
අවුරුදු ආවා...
ගොයම් කපා ගෙට ගෙනෙන්න
අලුත් සහල් බත් උයන්න
ඔන්චිලි වාරම් කියන්න
අවුරුදු ආවා...
අලුත් වළං ගෙට ගෙනෙන්න
අලුත් ඇඳුම් හැඩ බලන්න
කැවිලි පෙවිලි රස බලන්න
අවුරුදු ආවා...
රබන් සුරල් හඬ අහන්න
හෙළ කෙළි සෙල්ලම් කරන්න
හැමෝම එකමුතු කරන්න
අවුරුදු ආවා...
සුමනසිරිට - සරෝජාට
සතුටින් අවුරුදු කන්නට
සාමය, සමගිය අරගෙන
අවුරුදු ආවා




Saturday, April 2, 2016

වෑයම





සඳක් වී මා එන්න
සැරසුණා ඔබෙ ලොවට
එහෙත් එය අමාවක
රැයක් විය සඳ නො එන

තරුවක් ව දිලිසෙන්න
තැතනුවෙමි දුරින් හිඳ
තරු නිවා සඳ නැඟි
බැබළුණිය මුළු රැය ම

පියුමක් ව පිබිදුණෙමි
සරසන්න නිල විල
දිය සිඳී විල් මැකිණ
ගිම්හාන හිරු පැමිණ

දිය බිඳක් වී ආමි
විල් නෙළුම පුබුදන්න
නොතරම් ය දියබිඳු ව
වැසි වැටී පිරි විලට

හැමූවෙමි සුළඟක් ව
ගිම් නිවා සනසන්න
ඉරී සළු වලා පෙළ
දැවුණි හිරු උණුසුම් ව

සුසුමක් ව ගැවසුණෙමි
තැවුණු හද සතපන්න
තැවුල් ඉපදෙනු කෙලෙස
හදවතක් නොමැති කල

Wednesday, March 23, 2016

නුඹ නැතිව







පොද වැස්ස වැටෙනකොට
සේපාලිකා මල් නාවලා
ඔබ නැතුව මම හිඳිමි
මිටියාවතේ තනි වෙලා

තුරු හිස ම පුරෝගෙන
මල් වලින් හැඩවෙලා
හෙන්දිරික්කා පඳුර
මග බලයි නුඹ එයි කියා

නුඹ නොයෙන බව නොදැන
හැන්දෑව නැවතිලා
රෑ වෙන්න ඉඩනොදී
බලයි නුඹ එයි කියා






Monday, March 14, 2016

ඉරණම






අහසක් තරම් සිතුවිලි ඇය රැක ගන්නේ
දහසක් කම් කටුලු දිවියේ පුරවන්නේ
පහසක් නොලැබ මුත් දිවිමග ගතවන්නේ
පෙරදා මෙසේ ඇය යහපත් ලිය වන්නේ

මුව ඉඟි මරා ළෙන්ගතු කම් පෙන්වන්නේ
තනිකම වසා ආදර බස් තෙපලන්නේ
මල නොතලද බඹරුන් රොන් ගන්නේ
මින්සුනි ඇයිද වරදට ඇය පොලඹන්නේ

වල්මත් වූ සිතයි ඉතිරිය කර ගන්නේ
සිල්වත් අයමදැයි ඕ හට ගරහන්නේ
තැන්පත් වී කෙසේ උන් තැනටම යන්නේ
දුක්ගිනි දවා ඇය මිහි පිට වලලන්නේ



Thursday, February 18, 2016

පලා යෑම







කිරි ළමැදෙ හිස රදා
සුව වින්ද දියණියේ
කිරි වැරුව දා දෙතනේ
සිත තැළුව දියණියේ

තන කිරෙන් බරවෙලා හිත පැතුම් පූරෝගන
මං පැතුවෙ නුඹවමයි කිසිත් නොව ජීවිතයෙ
මහ අසනි වරුසාවේ ඇස් දෙකේ සීතලට
නුඹ උපන්නේ මටයි මලක් වී මගෙ හිතට

පෙළින් පෙළ ගෙවල් පෙළේ
රැලින් රැල ළමයි රැලේ
කටු අකුලෙ මලක් වී
පිපුණ නුඹ සුවඳ දුනි...

මල්වරව යෞවනය සිනාසුණ හිමිදිරියේ
මවු සෙනේ අඩු වුණිද වසන්තයෙ ඔය හිතට
රන් පාට සමනල්ළු දැක සිනාසුණ දෑසේ
මල් සුවඳ ගෙන ගියේ කොහිද නුඹ දුර ඈත

ගංගාව හඬ නඟා ගලද්දි නිම්නයේ
නුඹට එය ඇසුණිදෝ ගීතයක් වී මියුරු
උලලේන් හඬ හිතේ බිය රදවද්දි
නුඹට එය පෙම් කවක් වූවාද...?

පන් පැදුර චීත්තය සුවඳ නුඹෙ සොරාගෙන
ගන්න හැකි වේවිදෝ මට ද ඉන් ටිකක්
දෑස සේ රැකි නුඹයි අහස සේ හැඬු මමයි
ජීවිතේ තනිකමයි - මට උරුම හිමිකමයි




Wednesday, February 17, 2016

පරලොවට පෙම්පතක්


                                                               




                                                               මා මෙලොව තනිකර
අවුරුදු ගණනකට පෙර
පරලොව ගිය දයාබර
මගේ අනුලා වෙතට ය

මම 56 වන
විය ගෙවමින් සිටිමි දැන්
එනමුත් ඔහි එන ලකුණු
තවමත් පහළ වී නැත

අපේ ඒ කාලය
සමඟ සසඳා දක්වමි
දැන් මේ කාලයේ මෙහි
ඇති යම් යම් වෙනස්කම්

තරුණන් තරුණියන්
අතර පෙම්පත් ගනුදෙනු
කෙරුණු ඒ කාලයෙහිදි
රස පෙම්කවි ලියැවුණා

ලේඛන කලාවට
හා කවි කලාවට ඉන්
නැඹුරුවක් ඒ කාලේ
ලැබුණා නේද අපටත්?

දැන් අතේ ගෙනයන
දුරකථන පැතිරී ඇත
පෙම්කවි සහිත පෙම්පත්
එ නිසා වුවමනා නැත

යම්කිසි හානියක්
කවි කලාවට මෙ මඟින්
සිදුවී තිබෙනා බවක්
බැලු බැල්මට පෙනුණත්

ජංගම දුරකථන
පෙම් සංවාද ඔස්සේ
සිරි හර රස කවි දහර
ගලා යනවා විය හැක

නව තාක්ෂණයේ
දියුණුව එසේ තිබියදී
මේ පෙම් හසුන ලියුවේ
මා ඉස්සර පුරුද්දට

දැන් මේ පෙම් හසුන
මෙසේ එව්වේ වී මුත්
අපිත් කතා කර ගනිමු
ජංගම දුරකථනයෙන්

අපෙ ඒ සංවාද
තැටිගත කරගත හැකියි
නිෂ්පාදනය කළ හැක
එ මඟින් සාහිත්‍ය රස

මෙතෙකින් මේ ලියුම
දැනට අවසන් කරනෙමි
තව බොහෝ දේ කිව හැක
මා ඔහි සැපැත්වූ පසු